Monday, May 17, 2010

නුඹෙ උණුසුමත් සුන්දර සිසිලසකි මට.....!

ඒ දවස් වල ඉතින් අපිට කතා කරන්න, ලඟ රැඳෙන්න කොයි තරම් වෙලාවක් තිබුණත් මදි කියලයි හිතෙන්නේ....
ඇත්තටම අපි නිතර හමු වුණාට වැඩිය නිදහසේ කතා කරන්න අවස්ථාවක් ලැබුණෙත් නෑ තමයි. කොහොම හරි ලැබෙන ටික වෙලාවේ හිනාවෙන් සතුටින් කාලෙ ගෙවන්න අපි උත්සාහ කළා.. 
අපට ඉතිං මේ අවස්ථාව ලැබුණේ බස් රථයක යන අතර තුර..... 
ඉතිං ඒ වෙලාවට කොයි තරම් දාඩිය දැම්මත් අත් දෙක පටලවා ගන්න අපි අමතක කළේ නෑ (දැන් නම් බස් එකකදී අත ඇල්ලුවොත් .... මේ දාඩිය අස්සෙ, පොඩ්ඩක් එහාට වෙලා ඉන්නකෝ... එහෙම නොකිව්වත් එහෙම හිතයි වත් කියලා මට හිතෙනවා.දැන් ඉතිං ළමයි ලපටි ඉන්න නිසා බස් එකක ජෝඩු දාලා යන එක හිතලුවක් විතරයි.). 
ඇත්තටම එහි සුන්දර සිසිලසක් මට දැනුණා.... ඔයාලටත් එහෙම දැනිලා ඇතිනේ....



සඟවා මුවග
මඳ හසරැලි
කෙළි කවට
හොරැහින් බලයි
මා දෙස
ඉඟි බිඟි නොකොට
ගිනි මද්දහනෙ වුව
මා ගත වෙලෙන විට
නුඹෙ උණුසුමත්
සුන්දර සිසිලසකි මට
2002 – 06 – 10


Tuesday, May 4, 2010

සයුරු තෙර හිඳ...@Beach

 මට අවුරුදු 25ක් විතර වෙනකොට මගේ ජීවිතයේ කිසියම් ඒකාකාරී බවකින් නො එසේ නම් සංකීර්ණ බවකින් පිරිලා තිබුණා මට මතකයි. ඒ මගේ දෙමව්පියන්ගේ තිබුණු අධික අවිවේකි බව, මගේ මිතුරන් කීප දෙනෙක් මාත් එක්ක ඇති කරගත් යම් යම් ප්‍රශ්ණ වගේ දේවල් නිසා.......


ඒත් මගේ ප්‍රියාදරියත් එක්ක පුංචි සවාරියක් ගිහාම ඒ දුක්, ප්‍රශ්ණ අභිබවා ජීවිතයේ ඇති සුන්දර බව දැනුනා... මේ ඒ ගැන ලියූවක්.....




සයුරු තෙර හිඳ
නුඹේ උණුසුම්
සුසුම් අතරේ
ගෙවූ පෙරදින
දැනුනු මිහිරෙන්
අත් විඳිමි මම
ජීවිතයෙ ඇති
අසිරිමත් බව …….
 

Monday, May 3, 2010

අවධි වුනා සිත

පහන් සිලෙක
සැඟැවී ඉඟි කරනා
නුඹේ අහිංසක
දෑස් අගින් ……….
නිහඬ රැයේ
මා සවනට එබෙනා
නුඹේ මුවින් නැඟි
සිනා නඳින්………
තුන් සිත මොහොතක්
දැහැනක තබනා
නුඹේ රුවින් පිරි
සිහිනයකින් ……
අවදි වුනා සිත
අවදි වුනා සිත
නිදි යහනට වන් අසුරු සැනින් ……….!
2002 – 04 – 28 


ඇත්තටම එහෙම වුනා ද කියලනම් මතක නෑ. හැබැයි මෙහෙම ලියලා නම් තියෙනවා.... සමහර විට අතිශයෝක්තියක් වෙන්නත් ඇති.


පිංතූරෙ ගත්තෙ මෙතැනින්