Thursday, April 1, 2010

මං නපුරු නෑ....

කාළය ගෙවිලා යනකොට සමහර අවස්ථා වල මගේ අදහස් සහ ඇගේ අදහස් අතර පුංචි පුංචි ගැටුම් ඇති නොවුනා මත් නෙවී.. ඇය හිතන තරම් ලොව සොඳුරු නැති බව මං ඊට කලින් මගේ අත්දැකීම් තුලින්ම අවබෝධ කරගෙන හිටි නිසා වෙන්න ඇති... මේ පුංචි දැනුවත් කිරීම... 
හොඳ... ඔය කියන තරම් හොඳත් නෑ...
නරක.. කියන තරම් නරකත් නෑ...
 
මේ ටික පහදලා දෙන්න ගිහින් අපි අතර පුංචි ගැටුමක් ඇතිවෙන්න ඇති...
ඒ නිසයි මං මෙහෙම කියන්න ඇත්තේ....
මං ඒ තරම්ම නපුරුත් නෑ....

හිරු අඳුරු නෑ
සඳු එළිය නෑ
ගඟ ගැඹුරු නෑ
රළ සොඳුරු නෑ
ලොව මිතුරු නෑ
මං නපුරු නෑ
නුඹ සිතන තරම්

2002 – 04 – 18

Sunday, March 28, 2010

නුඹ මගේ විතරමයි! ‍

ආදරය හින්දා අපි ටිකක්... ටිකක් නෙවෙයි හුඟාක් ආත්මාර්ථකාමී වෙනවා... ඒත් ආදරයේ දී අපි එහෙම විය යුතුයි.... මට අදටත් එහෙම හිතෙනවා....


එබිලා බලන්න
හදවතට මා,
යදිනවා උණුසුම
නුඹේ සුසුමේ
මහද සෛලයන්……
අහලා බලන්න
දෙනෙතින් මා,
අයිතිය නුඹෙයි
හැම කඳුලු බිඳකම……
කියලා බලන්න
දෙසවනට මා
රැව්දෙන්නේ එහි
නුඹේ හඬ විතරමයි…….
වෙන කිසිවෙකුට
කිසිවකට කිසිවිටෙක
නුඹට ලංවෙන්න
දෙන්න බෑ
සමා වෙන්න
මං නුඹට
මහ හුඟක් ආදරෙයි…….
ඇත්ත,
මං ආත්මාර්ථකාමියෙක්
නුඹ මගේ විතරමයි…………!
2002 – 03 - 26

Friday, March 26, 2010

යළි ඇරඹි වසන්තය...

මාත් මේ ලෝකෙ බොහෝ දෙනා වගේ ම ප්‍රේම කරලා ටිකක් හෙම්බත් වුණු කෙනෙක්... ආදරය - ජීවිතය විදිහට මං කවදාවත් හිතුවේ නෑ...
මං හිතුවේ ආදරයත් ජීවිතයේ තවත් එක් කොටසක් විදිහටයි...
ආදරය කරන කාලෙට සතුට වැඩියෙනුත් දුක අඩුවෙනුත් දැනෙනවා...
ඒත් දුක් කරදර වැඩි  වෙන ආදර කතා ත් තියෙනවනේ...
එවැනි ආදර කතා ඉක්මනට ඉවරයක් කරලා දාන්නයි මං නං කැමති...
ඔන්න ඔහොම නිදහසේ විරහ වේදනාව රස විඳිමින් ඉන්න අතරේ... තමයි මගේ ආදරණිය සචී.. මට හමු වුණේ... 
අපි දෙන්නගේ ආදර කතාව පටන් ගත්ත දවසේ මං මෙහෙම ලිව්වා... හැබැයි ඇය මෙය දැක්කේ ටිකක් පස්සේ... මොකද මං මේක අපේ කවි පොතේ ලිව්වේ පස්සෙනේ....




වසත් කල අගිස්සෙහි
සිනාවත පුරෝගෙන
මගේ හදවත තුලට
ගිම්හානයේ අගට
ඉසෙන දිය පොදක් සේ
සෙනෙහසින් ඇවිත් නුඹ
ඇරඹුවා නොවෙද යලි
නිමා වෙන්නට හැදූ
අකීකරු වසන්තය
2002 – 02 – 05

සත්තකින්ම ඇය මට වසන්තයක්ම... වුණා... මට විතරක් නෙවෙයි මගේ දෙමව්පියන්ටත්....

Monday, March 22, 2010

මගෙන් ඈ ඇසු පළමු කව


 අපේ ආදර සම්බන්ධය පටන් අරං හරියටම දින 9 කින් වැලන්ටයින් දවස ආවා... අළුත්ම ප්‍රේමය හින්දා ඕක ගණන් නොගෙන ඉන්නත් බෑ... මොනවා හිතයි ද දන්නේ නෑනේ...  මං හිතුවා පොඩ්ඩක් හරි අර්ථයක් තියෙන දෙයක් කරනවා.. කියලා... මං ගිහිං ගත්තා තරමක සටහන් පොතක් සහ පෑනක්... පළමු පිටුවේ නිසඳැසක් ලියලා... මගේ ආදරවන්තියට දුන්නා...  ඊට පස්සේ චූටි උපදෙස් ටිකකුත් දුන්නා (වාචික ව). ඒ කියන්නේ වැලන්ටයින් සැමරුම බලෙන් අපේ ඇඟේ ගහපු එකක් මිසක් අපේ දෙයක් නෙවෙයි. අවුරුද්දකට එක දවසක් ආදරය සමරනවාට වඩා හැමදාම හැම මොහොතෙම අපි එය සැමරිය යුතුයි.... වගේ දේවල්...


මහ සයුර
නොවේ නුඹ
පරතෙරක් නොදන්නා……
මිරිඟුවක්
නොවේ නුඹ
සිත හැඟුම් රවටනා……
මහ ගඟක් නොවී නුඹ
මගෙන් ඈතට යනා…
දිය පොදක්
වෙයන් මට
පෙම් පවස සනහනා…..
ජය අරන්
අභියෝග
නුඹ සමග එක්වෙලා…
නුඹේ දෑතම අරන්
පපුතුරෙහි
සඟවලා…..
නුඹේ දෑසට එබී
සෙනේහය
උතුරනා….
සිනා සෙන්නෙමි දිනෙක
සදාකල්
නුඹෙ වෙලා……!


2002 – 02 – 14 
සචී... අපි කසාද බඳිනකම් මේ පොතේ කවි ලියමු... ඔයා කවියක් ලියලා මට මේ පොත ආපහු දෙන්න.. මං තව එකක් ලියලා... ඔයාට දෙන්නම්... මං එහෙම කිව්වා...

මට කවි ලියන්න බෑනේ... එයා කියපි...


හරි... පුළුවන් විදිහට ලියන්නකෝ... එතකොට පුළුවන් වෙයි...