Wednesday, August 4, 2010

හදේ පිපුණු මල්

අපගේ ප්‍රේම සම්බන්ධය පටන් ගත් පසු මට ඇගේ ආදරයේ තියෙන වටිනාකම නිතරම දැනුනා. ඒකට ප්‍රධාන හේතුව විදිහට මට හිතෙන්නේ මං ඒ වෙනකොට හිටපු පීඩාකාරී මානසිකත්වයෙන් ගොඩ එන්න ඇය දුන්නු ශක්තිය. ඉඩෝරයට අහුවෙලා තිබුණු මගේ හිත යළිත් කෙම් බිමක් කළේ ඇයයි.



දැනුන දා සිට

නුඹේ සෙනෙහස

පිපෙනවා මල්

මගේ හදගැබ

ඒ මලක හැම සුවඳ පොදකම

තැවරිලා ඇත

නුඹේ සෙනෙහස


2002 09 01

Saturday, July 10, 2010

සසර පුරා...

 ජීවිතයට ආදරය වින්දනීය විදිහට දැනෙන්න ගත්තහම සිතට දැනෙන සැනසුම කියලා විස්තර කරන්න අමාරුයි. එවන් අවස්ථා මගේ ජීවිතයේ නිතරම තියෙනවා..... බලන අය ඉරිසියා කරන්න නම් එපා... මගේ ජීවිතය ආදරයෙන් සම්පූර්ණයි කියලා මට හිතෙනවා... මගේ ආදරණීය සචී මගේ ජීවිතයට සමීප වුණු දා ඉඳලා මට එහෙම දැනෙනවා.... මේ මට එහෙම දැනුණු අවස්ථාවක් වෙන්න ඇති.... සංසාරෙ පතාගෙන ආවද කියලත් හිතෙනවා....


සසර පුරා
නුඹත් මමත්
පෙරුමන් පිරුවද මන්දා
කෙලෙස මගේ
හිතත් නුඹට
මෙතරම් බැඳුනිද මන්දා
කවදාවත් නැති තරමට
සෙනෙහස
හදවත රන්දා
නුඹගේ සෙනෙහස
හින්දා
පුදුම සැනසුමක් වින්දා
2002 – 08 – 18

රහක් දැනුනොත් කමෙන්ටුවක් දාලාම යන්න හොඳේ......

Monday, May 17, 2010

නුඹෙ උණුසුමත් සුන්දර සිසිලසකි මට.....!

ඒ දවස් වල ඉතින් අපිට කතා කරන්න, ලඟ රැඳෙන්න කොයි තරම් වෙලාවක් තිබුණත් මදි කියලයි හිතෙන්නේ....
ඇත්තටම අපි නිතර හමු වුණාට වැඩිය නිදහසේ කතා කරන්න අවස්ථාවක් ලැබුණෙත් නෑ තමයි. කොහොම හරි ලැබෙන ටික වෙලාවේ හිනාවෙන් සතුටින් කාලෙ ගෙවන්න අපි උත්සාහ කළා.. 
අපට ඉතිං මේ අවස්ථාව ලැබුණේ බස් රථයක යන අතර තුර..... 
ඉතිං ඒ වෙලාවට කොයි තරම් දාඩිය දැම්මත් අත් දෙක පටලවා ගන්න අපි අමතක කළේ නෑ (දැන් නම් බස් එකකදී අත ඇල්ලුවොත් .... මේ දාඩිය අස්සෙ, පොඩ්ඩක් එහාට වෙලා ඉන්නකෝ... එහෙම නොකිව්වත් එහෙම හිතයි වත් කියලා මට හිතෙනවා.දැන් ඉතිං ළමයි ලපටි ඉන්න නිසා බස් එකක ජෝඩු දාලා යන එක හිතලුවක් විතරයි.). 
ඇත්තටම එහි සුන්දර සිසිලසක් මට දැනුණා.... ඔයාලටත් එහෙම දැනිලා ඇතිනේ....



සඟවා මුවග
මඳ හසරැලි
කෙළි කවට
හොරැහින් බලයි
මා දෙස
ඉඟි බිඟි නොකොට
ගිනි මද්දහනෙ වුව
මා ගත වෙලෙන විට
නුඹෙ උණුසුමත්
සුන්දර සිසිලසකි මට
2002 – 06 – 10


Tuesday, May 4, 2010

සයුරු තෙර හිඳ...@Beach

 මට අවුරුදු 25ක් විතර වෙනකොට මගේ ජීවිතයේ කිසියම් ඒකාකාරී බවකින් නො එසේ නම් සංකීර්ණ බවකින් පිරිලා තිබුණා මට මතකයි. ඒ මගේ දෙමව්පියන්ගේ තිබුණු අධික අවිවේකි බව, මගේ මිතුරන් කීප දෙනෙක් මාත් එක්ක ඇති කරගත් යම් යම් ප්‍රශ්ණ වගේ දේවල් නිසා.......


ඒත් මගේ ප්‍රියාදරියත් එක්ක පුංචි සවාරියක් ගිහාම ඒ දුක්, ප්‍රශ්ණ අභිබවා ජීවිතයේ ඇති සුන්දර බව දැනුනා... මේ ඒ ගැන ලියූවක්.....




සයුරු තෙර හිඳ
නුඹේ උණුසුම්
සුසුම් අතරේ
ගෙවූ පෙරදින
දැනුනු මිහිරෙන්
අත් විඳිමි මම
ජීවිතයෙ ඇති
අසිරිමත් බව …….
 

Monday, May 3, 2010

අවධි වුනා සිත

පහන් සිලෙක
සැඟැවී ඉඟි කරනා
නුඹේ අහිංසක
දෑස් අගින් ……….
නිහඬ රැයේ
මා සවනට එබෙනා
නුඹේ මුවින් නැඟි
සිනා නඳින්………
තුන් සිත මොහොතක්
දැහැනක තබනා
නුඹේ රුවින් පිරි
සිහිනයකින් ……
අවදි වුනා සිත
අවදි වුනා සිත
නිදි යහනට වන් අසුරු සැනින් ……….!
2002 – 04 – 28 


ඇත්තටම එහෙම වුනා ද කියලනම් මතක නෑ. හැබැයි මෙහෙම ලියලා නම් තියෙනවා.... සමහර විට අතිශයෝක්තියක් වෙන්නත් ඇති.


පිංතූරෙ ගත්තෙ මෙතැනින්

Tuesday, April 27, 2010

අගේ ඇති නුඹ තරම්......

ආදරය කරන කෙනෙක් සතුටින් ඉන්නවා දකින එක කොයි තරම් නම් සතුටක්ද....? 

 



සුදු මුහුණ රතු කරන්
සෙනෙහසින් හිනැහියන්
සිහින් දෙනුවන් තුලින්
කඳුලු මතු වන තරම්
මෙලොව අන් කිසිත් නෑ
අගේ ඇති නුඹ තරම්
2002 04 - 18

රසයක් දැනුනොත් කමෙන්ට් එකක් දාන්න හොඳේ.....
පිංතූරෙ ගත්තෙ මෙතැනින්

Thursday, April 1, 2010

මං නපුරු නෑ....

කාළය ගෙවිලා යනකොට සමහර අවස්ථා වල මගේ අදහස් සහ ඇගේ අදහස් අතර පුංචි පුංචි ගැටුම් ඇති නොවුනා මත් නෙවී.. ඇය හිතන තරම් ලොව සොඳුරු නැති බව මං ඊට කලින් මගේ අත්දැකීම් තුලින්ම අවබෝධ කරගෙන හිටි නිසා වෙන්න ඇති... මේ පුංචි දැනුවත් කිරීම... 
හොඳ... ඔය කියන තරම් හොඳත් නෑ...
නරක.. කියන තරම් නරකත් නෑ...
 
මේ ටික පහදලා දෙන්න ගිහින් අපි අතර පුංචි ගැටුමක් ඇතිවෙන්න ඇති...
ඒ නිසයි මං මෙහෙම කියන්න ඇත්තේ....
මං ඒ තරම්ම නපුරුත් නෑ....

හිරු අඳුරු නෑ
සඳු එළිය නෑ
ගඟ ගැඹුරු නෑ
රළ සොඳුරු නෑ
ලොව මිතුරු නෑ
මං නපුරු නෑ
නුඹ සිතන තරම්

2002 – 04 – 18

Sunday, March 28, 2010

නුඹ මගේ විතරමයි! ‍

ආදරය හින්දා අපි ටිකක්... ටිකක් නෙවෙයි හුඟාක් ආත්මාර්ථකාමී වෙනවා... ඒත් ආදරයේ දී අපි එහෙම විය යුතුයි.... මට අදටත් එහෙම හිතෙනවා....


එබිලා බලන්න
හදවතට මා,
යදිනවා උණුසුම
නුඹේ සුසුමේ
මහද සෛලයන්……
අහලා බලන්න
දෙනෙතින් මා,
අයිතිය නුඹෙයි
හැම කඳුලු බිඳකම……
කියලා බලන්න
දෙසවනට මා
රැව්දෙන්නේ එහි
නුඹේ හඬ විතරමයි…….
වෙන කිසිවෙකුට
කිසිවකට කිසිවිටෙක
නුඹට ලංවෙන්න
දෙන්න බෑ
සමා වෙන්න
මං නුඹට
මහ හුඟක් ආදරෙයි…….
ඇත්ත,
මං ආත්මාර්ථකාමියෙක්
නුඹ මගේ විතරමයි…………!
2002 – 03 - 26

Friday, March 26, 2010

යළි ඇරඹි වසන්තය...

මාත් මේ ලෝකෙ බොහෝ දෙනා වගේ ම ප්‍රේම කරලා ටිකක් හෙම්බත් වුණු කෙනෙක්... ආදරය - ජීවිතය විදිහට මං කවදාවත් හිතුවේ නෑ...
මං හිතුවේ ආදරයත් ජීවිතයේ තවත් එක් කොටසක් විදිහටයි...
ආදරය කරන කාලෙට සතුට වැඩියෙනුත් දුක අඩුවෙනුත් දැනෙනවා...
ඒත් දුක් කරදර වැඩි  වෙන ආදර කතා ත් තියෙනවනේ...
එවැනි ආදර කතා ඉක්මනට ඉවරයක් කරලා දාන්නයි මං නං කැමති...
ඔන්න ඔහොම නිදහසේ විරහ වේදනාව රස විඳිමින් ඉන්න අතරේ... තමයි මගේ ආදරණිය සචී.. මට හමු වුණේ... 
අපි දෙන්නගේ ආදර කතාව පටන් ගත්ත දවසේ මං මෙහෙම ලිව්වා... හැබැයි ඇය මෙය දැක්කේ ටිකක් පස්සේ... මොකද මං මේක අපේ කවි පොතේ ලිව්වේ පස්සෙනේ....




වසත් කල අගිස්සෙහි
සිනාවත පුරෝගෙන
මගේ හදවත තුලට
ගිම්හානයේ අගට
ඉසෙන දිය පොදක් සේ
සෙනෙහසින් ඇවිත් නුඹ
ඇරඹුවා නොවෙද යලි
නිමා වෙන්නට හැදූ
අකීකරු වසන්තය
2002 02 05

සත්තකින්ම ඇය මට වසන්තයක්ම... වුණා... මට විතරක් නෙවෙයි මගේ දෙමව්පියන්ටත්....

Monday, March 22, 2010

මගෙන් ඈ ඇසු පළමු කව


 අපේ ආදර සම්බන්ධය පටන් අරං හරියටම දින 9 කින් වැලන්ටයින් දවස ආවා... අළුත්ම ප්‍රේමය හින්දා ඕක ගණන් නොගෙන ඉන්නත් බෑ... මොනවා හිතයි ද දන්නේ නෑනේ...  මං හිතුවා පොඩ්ඩක් හරි අර්ථයක් තියෙන දෙයක් කරනවා.. කියලා... මං ගිහිං ගත්තා තරමක සටහන් පොතක් සහ පෑනක්... පළමු පිටුවේ නිසඳැසක් ලියලා... මගේ ආදරවන්තියට දුන්නා...  ඊට පස්සේ චූටි උපදෙස් ටිකකුත් දුන්නා (වාචික ව). ඒ කියන්නේ වැලන්ටයින් සැමරුම බලෙන් අපේ ඇඟේ ගහපු එකක් මිසක් අපේ දෙයක් නෙවෙයි. අවුරුද්දකට එක දවසක් ආදරය සමරනවාට වඩා හැමදාම හැම මොහොතෙම අපි එය සැමරිය යුතුයි.... වගේ දේවල්...


මහ සයුර
නොවේ නුඹ
පරතෙරක් නොදන්නා……
මිරිඟුවක්
නොවේ නුඹ
සිත හැඟුම් රවටනා……
මහ ගඟක් නොවී නුඹ
මගෙන් ඈතට යනා
දිය පොදක්
වෙයන් මට
පෙම් පවස සනහනා..
ජය අරන්
අභියෝග
නුඹ සමග එක්වෙලා
නුඹේ දෑතම අරන්
පපුතුරෙහි
සඟවලා..
නුඹේ දෑසට එබී
සෙනේහය
උතුරනා.
සිනා සෙන්නෙමි දිනෙක
සදාකල්
නුඹෙ වෙලා……!


2002 02 14 
සචී... අපි කසාද බඳිනකම් මේ පොතේ කවි ලියමු... ඔයා කවියක් ලියලා මට මේ පොත ආපහු දෙන්න.. මං තව එකක් ලියලා... ඔයාට දෙන්නම්... මං එහෙම කිව්වා...

මට කවි ලියන්න බෑනේ... එයා කියපි...


හරි... පුළුවන් විදිහට ලියන්නකෝ... එතකොට පුළුවන් වෙයි...